පහත සටහන ඔබගේ අභ්‍යාස පොතේ ලියා ගන්න.
සන්නිවේදනය යනු
මානව සන්නිවේදනය කවදා කොතනකදී ඇති වූයේද යන්නට තවමත් නිශ්චිත දින වකවානු හදුනා ගත හැකි වී නොමැත. මානව සන්නිවේදනයේ ආරම්භය මානවයාගේ ආරම්භය දක්වාම දිව යන බව අපට නිගමනය කර ගත හැකිය. සමස්තයක් ලෙස ගත් කළ කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වාම ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සන්නිවේදනය හා බැදී පවතී.
සන්නිවේදනය යන වචනය තුළ පොදු බවට පත් කිරීම,බෙදා හැරීම, ඇමතීම, කතා කිරීම, මනා නැතහොත් යහපත් ලෙස කරනු ලබන නිවේදනය යන අදහස් රාශියක් හදුනා ගත හැකිය.
සන්නිවේදන කාර්යය සදහා මුලික වශයෙන් ත්‍රිත්වයක් අවශ්‍ය වේ. එනම් ,
1. සන්නිවේදකයා නැතහොත් යවන්නා ( Sender )
2. සංදේශය නැතහොත් පණිවිඩය ( Message )
3. ග්‍රාහකයා නැතහොත් ලබන්නා ( Receiver )
මෙම සම්බන්ධතාවය " SMR " ආකෘතිය වශයෙන් හදුනාගත හැකිය.
S --------- M --------- R
Sender --------- Message --------- Receiver
යවන්නා --------- පණිවිඩය --------- ලබන්නා
(සන්නිවේදකයා) (සංදේශය) (ග්‍රාහකයා)
දෙවනුව මෙය ජන මාධ්‍ය ඔස්සේ කෙරෙන පණිවිඩයක් (සන්දේශයක්) බවට පත් වූ විට එය "SMMR" ආකෘතිය ලෙස හදුනා ගත හැකිය.
එනම්,
1. සන්නිවේදකයා ( Sender )
2. සංදේශය ( Message )
3. මාධ්‍ය ( Media )
4. ග්‍රාහකයා ( Receiver )
S --------- M --------- M --------- R
Sender Message Media Receiver
(සන්නිවේදකයා) (සංදේශය) (මාධ්‍ය) (ග්‍රාහකයා)
තව දුරටත් සන්නිවේදනය යනු කුමක්දැයි නිර්වචන ඇසුරින් විමසා බලමු. 1930 දශකයේ සිට 1975 වර්ෂය වන විට සන්නිවේදනය පිළිබද නිර්වචන 2000කට වැඩි සංඛ්‍යාවක් පැවති බව ෆැන්ක් ඩෑන්ස් (Frank Dans) නම් සන්නිවේදන විද්‍යාඥයා පෙන්වා දී ඇත. මෙම නිර්වචන සන්නිවේදන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට මහත් දායකත්වයක් සපයා තිබේ.
1948 දී මහාචාර්ය හැරල්ඩ් ඩී. ලැස්වෙල් (Harald D. Lasswell) මහතා දක්වන ලද සන්නිවේදනය පිළිබද නිර්වචනය ප්‍රථම විද්‍යාත්මක නිර්වචනය ලෙස සලකයි.
|
හැරල්ඩ් ඩී. ලැස්වෙල් මහතා |
මෙතුමා දක්වා තිබෙනුයේ,
" කිසියම් කෙනෙක්, යම් කිසිවක්, කිසියම් නාලියකින්, යම් කෙනෙකුට යම් බලපෑමක් සදහා ඉදිරිපත් කරන දෙය සන්නිවේදනයයි."
- හැරල්ඩ් ඩී. ලැස්වෙල් මහතා
යනුවෙනි.
අභ්‍යාස :
මෙම නිර්වචනය කට පාඩම් කරගන්න.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සැකසුම පිළිබද සටහන ඔබ විසින් ලියන පොතේ පිටුපස සටහන් කර ගන්න.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සැකසුම පහත පරිදිය.
ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුතු වේ.
1 කොටස
# මෙම කොටසේදී කෙටි ප්‍රශ්න 40ක් ලැබේ.
# පිළිතුරු 4ක් අතරින් ඔබ නිවැරදි පිළිතුර තෝරා ලකුණු කළ යුතුය.
# ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සංඛ්‍යාව 40කි.
2 කොටස
# මෙහි පළමුවන ප්‍රශ්නය හා තවත් තෝරාගත් ප්‍රශ්න 4ක් ඇතුළුව ප්‍රශ්න 5කට පිළිතුරු සැපයිය යුතුය.
# පළමුවන ප්‍රශ්නයට ලකුණු 20ක් හිමි වන අතර අනෙක් සෑම ප්‍රශ්නයකටම ලකුණු 10 බැගින් හිමි වේ.
# ප්‍රශ්න පත්‍රයට හිමිවන ලකුණු සංඛ්‍යාව 60කි.
පළමු දින ලබා දුන් සටහනට පසුව මෙම සටහන ඔබ විසින් ලියා ගන්න.
මෙම නිර්වචනයට අනුව කිසියම් කෙනෙක් යන්නෙන් සන්නිවේදකයාද , යම් කිසිවක් යන්නෙන් සන්දේශයද, කිසියම් නාලියකින් යන්නෙන් මාධ්‍යද, යම් කෙනෙකුට යන්නෙන් ග්‍රාහකයා යන්නද, යම් බලපෑමක් සදහා යන්නෙන් බලපෑම යන්නද අදහස් වේ.
එය පහත පරිදි හදුනා ගනිමු.
Who යම් කෙනෙක් සන්නිවේදකයා Communicator
Says what යම් කිසිවක් සංදේශය Message
In which channel යම් නාලියකින් මාධ්‍යය Media
To whom යම් කෙනෙකුට ග්‍රාහකයා Receiver
With what effect යම් බලපෑමක් සදහා බලපෑම Effect
(මහාචාර්ය හැරල්ඩ් ඩී. ලැස්වෙල් (Harald D. Lasswell) මහතා
ඒ අනුව ලැස්වෙල් මහතා පැහැදිලි කරන්නේ සන්නිවේදකයා යනු සන්නිවේදන ක්‍රියාවලියේ ආරම්භකයා වන බවයි. සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාව සන්නිවේදකයාට ඇති වූ පසු සන්නිවේදකයා විසින් සන්දේශයක් සකස් කර එය තෝරා ගත් මාධ්‍යක් ඔස්සේ ග්‍රාහකයා වෙත යවනු ලබයි. එහිදී සංදේශය ලැබීමෙන් පසු ග්‍රාහකයා තුළ වෙනසක් ඇති වීම අපේක්ෂා කෙරේ.
උදා:- # පාසලේ මීළග රැස්වීම් වාරය ඔබ පන්තියට බව දැනුම් දීම
# ඔබේ හොදම මිතුරා / මිතුරිය නිවාඩු කාලයේදී ගමට එන මෙන් දන්වා එවීම
මුහුණට මුහුණ කරන ප්‍රකාශනයක්, ඉගියක්, ලියුමක්, දුරකථන ඇමතුමක්, ෆැක්ස්, විද්‍යුත් තැපෑල (e-mail), ජන මාධ්‍යයක් හරහා සිදු කරන සන්නිවේදනයක් ආදී වශයෙන් සන්නිවේදනය සිදු කළ හැකිය.
හැරල්ඩ් ඩී. ලැස්වේල් මහතාගේ සන්නිවේදන ආකෘතියේදී හමුවන ප්‍රධාන කොටස්
( සන්නිවේදනයේ මුලිකාංග )
1. සන්නිවේදකයා - සන්නිවේදනය ආරම්භ කරන්නා වේ.සන්නිවේදනයක් කිරීමේ අවශ්‍යතාව මොහුට ඇති වේ. ඔහු හෝ ඇය සන්නිවේදනය සැලසුම් කර එය සන්දේශයක් ලෙස සුදුසු මාධ්‍යක් තෝරාගෙන සංදේශය සම්ප්‍රේෂණය කිරීම සන්නිවේදකයාගේ කාර්යයයි.
2. සංදේශය - ග්‍රාහකයා (ලබන්නා) අරමුණු කර ගනිමින් සන්නිවේදකයා කරනු ලබන සිය හැගීම්, සිතුවිලි හෝ අදහස් ප්‍රකාශනය සංදේශය වේ.
3. මාධ්‍යය - සන්නිවේදකයා සකස් කළ සංදේශය ග්‍රාහකයා වෙත ගෙන යනු ලබන දෙය මාධ්‍යය වේ. එය කටවචනයක්, ලිපියක්, දුරකථන පණිවිඩයක් හෝ ජනමාධ්‍යයක් විය හැකිය.
4. ග්‍රාහකයා - සන්නිවේදකයා කිසියම් මාධ්‍යක් ඔස්සේ යවන සංදේශය ලබන්නා වන්නේ ග්‍රහකයයි. ඒ අනුව කිසියම් වචනයක්, දුරකථන ඇමතුමක්, පුවත්පත්,ගුවන් විදුලියක්, රූපවාහිනිය ඇසුරින් ලබන පණිවිඩයක් ආදී ඕනෑම ක්‍රමයකින් ග්‍රාහකයාට සංදේශ ලැබේ. සමහර විට ග්‍රහකයාද පෙරලා සන්නිවේදකයෙකු බවට පත් වේ. එම නිසා සන්නිවේදකයා සහ ග්‍රාහකයා යනු එකම පුද්ගලයෙකුගේ භූමිකා දෙකක් ලෙසද හැදින්විය හැකි වේ.
5. බලපෑම - මෙලෙස සන්නිවේදකයා යම් මාධ්‍යය උපයෝගී කර ගෙන ග්‍රාහකයා වෙත සන්දේශයක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රාහකයා තුළ ඇති වන වෙනස බලපෑම ලෙස හැදින්විය හැකිය. සන්නිවේදකයා බලාපොරොත්තු වන වෙනස සැමවිටම ඇති නොවන අතර බලාපොරොත්තු නොවූ සිදුවීම්ද විය හැකිය.
පහත දැක්වෙන්නේ සන්නිවේදනය පිළිබද කලින් කළ බිහි වූ නිර්වචන කිහිපයකි.
# "වාචිකව හෝ ලිඛිතව හෝ සලකුණු මගින් හෝ අදහස්,දැනුම, තොරතුරු පළ කිරීම, බෙදා දීම, බෙදා හැරීම සහ ව්‍යාප්තිය සන්නිවේදනය නම් වෙයි."
- ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය (1989)
# " සන්නිවේදනය යනු පුද්ගලයෙක් මගින් තවත් පුද්ගලයෙකුට අර්ථවත් පණිවිඩයක්, සන්දේශයක් යැවීමයි."
- ඩෙනිස් මැක්වෙල් මහතා (1975)
# "සන්නිවේදනය යනු මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි බලපෑම් කරන සකලවිධ ක්‍රියාදාමයන්ය."
- ජ(ර්)ගන් රූෂ් මහතා (1951)
# "සංදේශ ඔස්සේ සිදුවන අන්තර් ක්‍රියාව සන්නිවේදනයයි."
- ජෝර්ජ් ග(ර්)බර් මහතා (1956)
...................................................................................................................................................................
සන්නිවේදන ඉතිහාසය
මානව සන්නිවේදනයේ විකාශනය සැකෙවින්
මානව සන්නිවේදනයේ ඉතිහාසය මානවයාගේ ආරම්භය දක්වාම දිවයන බව නිගමනය කළ හැකි වේ. මානවයාගේ ආරම්භයේ මුල් යුගය "ප්‍රාථමික යුගය" ලෙස හදුනාගත හැකි වේ. මේ කාලයේදී මානවයාගේ මනසේ වර්ධනයද එතරම් හොදින් සිදු වී නොමැති බැවින් මුල්ම කාලයේ මානවයා තම අදහස් බොහෝ විට ප්‍රකාශ කරනු ලැබුයේ,
- මුඛයෙන් විවිධ ශබ්ද කිරීම
- ශරීරාංග චලනය
- ඉගි කිරීම්
යනාදී ක්‍රම උපයෝගී කර ගනිමිනි. මෙම ප්‍රාග් ඓතිහාසික යුගය " පැලියොලිතික් යුගය " නමින්ද හදුන්වයි. මෙලෙස මානවයා රංචු වශයෙන් ගල්ගුහාවල ජිවත් වෙමින් කාලයක් කටයුතු කිරීමත් සමග මනස හා මානව සමාජය ක්‍රමයෙන් දියුණු වන විට " ප්‍රාථමික සන්නිවේදන ක්‍රම" පදනම් කරගෙන මුලික අවශ්‍යතා ඉටු කර ගන්නට විය.
උදා - - ගිනි තබා දුම් රොඩු අහසට නැංවීම.
- දඩයම් කා ගන්න ලද සතුන්ගේ අං යොදා නලා තනාගෙන පිඹීම.
- කොළ අතු භාවිතය
- ගස්වල පට්ටා, ලි කැබලි, ඇටකටු භාවිතය
කාලය ගත වීමත් සමග තවදුරටත් මානවයාගේ මනස සහ ස්නායු පද්ධතිය වර්ධනය වීමත් සමග ඔවුන්ගේ සන්නිවේදන හැකියාවද දියුණු විය.
ඒ සමගම ඔවුන් සතුන් දඩයම් කර ගත් අන්දම තම මතකයෙන් තමන් ජිවත් වූ ගුහාවේ බිත්ති මත ඇද දැක්විය. එවැනි ගල්ගුහා ච්ත්‍ර අතරින් ප්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමිරා ගුහා චිත්‍ර වඩාත් ප්‍රකටය. ඒවා මිට වසර 18500 පෙර නිර්මාණය කර ඇති බව සැලකේ.
|
ලැස්කෝ ගුහා චිත්‍ර
| ලැස්කෝ ගුහා චිත්‍ර
|
|
|
අල්ටමිරා ගුහා චිත්‍ර
| අල්ටමිරා ගුහා චිත්‍ර
|
|
මෙම චිත්‍ර මගින් ඔවුන් නිර්මාණාත්මක සන්නිවේදනයේ යෙදුන බව කියවේ. එමෙන්ම ඔවුන්ගේ අත්දැකීම් තවත් පරම්පරාවක් වෙත දායාද කිරීමටද මෙම චිත්‍ර උපකාරී වී ඇති බවද කියවේ.
සන්නිවේදනයේ ඓතිහාසික වර්ධනය තුළ සිදු වූ වැදගත් සිදුවීම්
1. කථන භාෂාවක් සකස් කර ගැනීම.
මානවයා තම අදහස් විවිධ අන්දමට විවිධ ආකාරයෙන් ශබ්ද නැගීම් ආදී ක්‍රියාමාර්ග සිදු කරගෙන යාමේ ප්‍රතිඵලයක් වශයෙන් කතා කිරීමේ භාෂාවක් සකස් කරගත් බව කියවේ. නමුත් භාෂාව බිහි වූ දිනයක් හදුනා ගත නොහැකිය. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිටි ජනතාව තම පරිසරය තුළ හිදිමින් ඔවුන්ගේ කණ්ඩායමට ආවේණික ලෙස කතා කිරීමට භාෂා නිපදවාගෙන තිබේ. ඒ අනුව ලෝකයේ විවිධ ජන කණ්ඩායම්වල භාෂාව එකිනෙකට වෙනස් වී ඇත.
2. රූප ආශ්‍රයෙන් අක්ෂර නිර්මාණය කර ගැනීම.
මුලින්ම ගුහා චිත්‍ර ඇදී මානවයා පරිසරයේ දකින හැඩතල ආදිය අක්ෂර ලෙස සකස් කර ගන්නට විය. මෙම මුල් අකුරු රූපාක්ෂර හෙවත් චිත්‍රාක්ෂර නමින් හදුන්වයි. මෙම රූපාක්ෂරවලින් හඩක් නොව අදහසක් ඉදිරිපත් වේ. අදද පවතින චීන, ජපන් , කොරියන් අකුරු මෙයට නිදසුන් සපයයි.
3. සංකේතාත්මකව අක්ෂර නිර්මාණය කර ගැනීම.
මෙයින් කියවෙන්නේ සංකේත අකුරු නිර්මාණය කර ගැනීමයි. ' අ ' යන සංකේතවත් අකුරින් ' අ 'යන හඩ ඇති කරන ශබ්ද නිර්මාණය කර ගැනීම ආදී වශයෙන් ඒ ඒ සංකේතාක්ෂර යොදා ගනිමින් ලේඛන භාෂාවක් බිහි කර ගැනීම මින් තව දුරටත් විස්තර වේ.
4. හෝඩිය නිර්මාණය කර ගැනීම.
මෙලෙස හෝඩිය ක්‍රමයෙන් නිර්මාණය වීම මගින් ඒ ඒ රටවලට ගැළපෙන ලෙස අක්ෂර හා භාෂාව ගොඩ නැගීණි.
5. විවිධ දේ යොදා ගෙන ලිවීම ආරම්භ කිරීම.
අතීතයේ ලිවීමට විවිධ දේ භාවිතා විය.
+ ගල් පතුරු + ලී කැබලි
+ ඇට කැබලි + සත්ව සම්
+ (පසු කාලීනව) රෙදි
ඒ අනුව ඇතැම් රටවල වමේ සිට දකුණට (සිංහල, ඉංග්‍රීසි,දෙමළ) භාෂා ලියනු ලබන අතර අරාබි බස දකුණේ සිට වමටද
|
අරාබි භාෂාව |
චීන, කොරියානු භාෂා ඉහළ සිට පහළට
|
චීන භාෂාව |
අද දක්වාම ලියනු ලබයි.
6. කඩදාසිය නිර්මාණය කිරීම.
|
සායිලුන් |
සමස්ත ලෝකයම උඩු යටිකුරු වූ ප්‍රධාන සිදුවීමක් බවට පත් වුයේ කඩදාසිය නිපදවීමයි. ලේඛන ඉතිහාසය පෙන්වන පරිදි
මුල්ම කඩදාසිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි.ව. 105 දී ජීවත්ව සිටි සායිලුන් ( Tsai lun ) නමැති චීන වැසියාටය. එය වූ කලී ගස්වල ලී කුඩු පල් කොට තබන ලද 'පල්ප්' වලින් සෑදු කඩදාසි විශේෂයකි. සායිලුන් කරන ලද්දේ මල් බේරී ගසේ පොත්ත කුඩු කර හණ ගස්වල කොටස් යනාදී කොටස් ගෙන උකු දියරයක් වශයෙන් සකසා එය තුනියට වේලෙන්නට තුනී තහඩුවක් ලෙස එළාගෙන ක්‍රමයෙන් කඩදාසිය නිර්මාණය කිරීමය.
මෙම කඩදාසියේ රහස චීන ජාතිකයන් රැක ගත අතර වසර 500කට පමණ පසු එය නාවික වෙළෙන්දන් හරහා ලෝකය පුරා ප්‍රචලිත විය.මෙම කඩදාසිය මත ලිවිම සදහා මුලින් පිහාටු පෑන ( quill pen )
|
පිහාටු පෑන
|
හත් වන සියවසේදී පමණ සොයා ගත අතර කුරුලු පිහාටුවක කෙළවර (වැඩිපුර තාරා පිහාටු යොදා ගැනිණි.) පෑන් තලයක් මෙන් උල් කර ගෙන මෙය සකස් කර ගන්නා ලදී. පසු කල උල්පත් පෑන (fountain pen)
|
උල්පත් පෑන |
භාවිතා විය.
ලිවීම අතින් සිදු කිරීමද ක්‍රමයෙන් වෙනස් විය. එය ඉතා අපහසු කාර්යයක් මෙන්ම දිගු කාලයක් තිස්සේ කළ යුතු කාර්යයක් විය. මෙම පදනම මත මුද්‍රණ යන්ත්‍රය බිහි කර ගැනීම ජන මාධ්‍ය පෝෂණයෙහිලා ඉතා වැදගත් ඓතිහාසික සිදුවීමක් විය. මුද්‍රණ යන්ත්‍රයේ බිහි වීමට නිසි අඩිතාලම වැටුණේ ප්‍රධාන කරුණු දෙකක් මුල් කර ගෙනය. ඉන් පළමුවැන්න කඩදාසිය සොයා ගැනීමයි. දෙවැන්න නම් සන්දේශයක පිටපත් කිහිපයක් බිහි කිරීමේ අවශ්‍යතවයි.
මුලින්ම කඩදාසිය සොයා ගත් චීන ජාතිකයන් ලී බ්ලොක් / ආකෘති මගින් යමක් මුද්‍රණය කර ගත හැකි ක්‍රම කිහිපයක් සොයා ගත් අතර කඩදාසියක් මත තබා දෙපැත්තෙන් ලී බ්ලොක් දෙකක් තද කිරීමෙන් යමක් මුද්‍රණ කර ගත හැකි බව දැන ගත්හ. ඒ අනුව මුද්‍රණ ක්‍රමයේ ආරම්භක සාමාජිකයන් වුයේද චීන වැසියන්ම වේ.
7. ජොහැන්නස් ගුටෙන්බර්ග් මහතා මුද්‍රණ යන්ත්‍රය නිපදවීම
|
ජොහැන්නස් ගුටෙන්බර්ග් මහතා |
චීනය විසින් සොයා ගන්නා ලද මුලික මුද්‍රණ ක්‍රමවලට පසු ජර්මනියේ ජොහැන්නස් ගුටෙන්බර්ග් මහතා
ලෝකයේ ප්‍රථම මුද්‍රණ යන්ත්‍රය ක්‍රි.ව. 1453 දී නිර්මාණය කරන ලදී. ජිවිතයේ විවිධ දුක්ගැහැට විදිමින් ගුටෙන්බර්ග් මහතා සිය උත්සාහයෙන් ක්‍රි.ව. 1456 දී ලොව පළමු මුද්‍රිත බයිබලය පිටු 1282 යුතුව පිටපත් 150ක් මුද්‍රණය කිරීමට සමත් විය. අදද මෙහි එක් පිටපතක් '
ගුටෙන්බර්ග් බයිබලය'
නමින් බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙතුමා ලෝහ අකුරු යොදා ගනිමින් සිය මුද්‍රණ කටයුතු කළේය. කෙසේ වුවද
ගුටෙන්බර්ග් මහතා මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණ කළ පළමු කෘතිය ලෙස ඉතිහාසගත වී ඇත්තේ ' ලතින් ව්‍යාකරණය'යි.
8. විදුලි සහ විද්‍යුත් සංඥා තාක්ෂණය නිර්මාණය කර ගැනීම.
19 වන ශත වර්ෂයේ සැමුවෙල් එෆ්. බී. මොර්ස් නැමැත්තා විසින් කම්බියක් දිගේ විදුලි සංඥා යැවීමට ද (මොර්ස් සංඥා ක්‍රමය)
|
සැමුවෙල් එෆ්. බී. මොර්ස් මහතා |
|
මොර්ස් සංඥා ක්‍රමය
|
, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් මහතා
|
, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් මහතා |
විසින් දුරකථන ක්‍රමය තුළින් කම්බියක් ඔස්සේ හඩ යැවීමද සොයා ගන්නා ලදී. ඉන් අනතුරුව ගුග්ලිමෝ මාකෝනි මහතා
|
ගුග්ලිමෝ මාකෝනි මහතා |
විසින් කරන ලද පර්යේෂණ රාශියකට පසු කම්බි රහිතව විදුලි සංඥා යවමින් ගුවන් විදුලිය නිපදවිය. එපමණක් නොව දීර්ඝ කාලයක් පුරා විවිධ පර්යේෂකයන් රූපවාහිනිය නිපදවීමේ පර්යේෂණ පවත්වන ලද අතර එහි මල්ඵල ලබා ගනිමින් ස්කොට්ලන්ත ජාතික ( පෙළ පොතේ ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි.) ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා
|
ජෝන් ලොගී බෙයාර්ඩ් මහතා |
විසින් 1926 වර්ෂයේදී පමණ රූපවාහිනිය නිපදවීමට සමත් විය. මේ අතර චාල්ස් බැබේජ් මහතා
|
චාල්ස් බැබේජ් මහතා |
විසින් පරිගණකය නිපදවීමට සමත් විය.
මානව සන්නිවේදනය සහ සත්ව සන්නිවේදනය
මානව සන්නිවේදනයේ ඉතිහාසය ඉතා ඈත අතීතයට දිව යන බවත් ඒ දීර්ඝ කාලය තුල මානවයා විවිධ සන්නිවේදන මෙවලම් නිර්මාණය කර ගන්නට වීමත් සිදු විය. අද වන විට මානව සන්නිවේදනය ඉතාම දියුණු මටටමකට පැමිණ තිබේ. භාෂාව නිර්මාණය, මාධ්‍ය බිහිවීම පමණක් නොව අදද විවිධ සංඥා, ඉගි ආදිය මගින් ද මානවයා අවාචික සන්නිවේදනයේ යෙදේ.
මානවයා මෙන්ම සතුන් තුළද ඉතාම දියුණු සන්නිවේදන ක්‍රම පවතින බව විද්‍යාඥයින් හෙළි කර තිබේ. මී මැස්සා ප්‍රබල සන්නිවේදනයක් සිදු කරයි. ආහාර ඇති මාර්ගය පෙන්වීම, ආරක්ෂාව පිළිබද අවධානය ආදිය ඔඋන්ටම ආවේණික ක්‍රමවලට සිදු වේ. වවුලන් තරංග යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදේ. වදුරු රැලක නායක වදුරා විසින් තම කණ්ඩායම මෙහෙයවමින් ආරක්ෂාව සපයයි. බළලුන් විවිධ ශබ්ද නගමින් සන්නිවේදනයේ යෙදේ. බල්ලා විවිධ රසායනික ක්‍රම උපයෝගී කර ගනී. කුහුඹුවන්, මත්සයන්ද ඔවුන්ටම ආවේනික ක්‍රම යොදා ගනී.
මේ අනුව සත්ව සන්නිවේදනයේදී,
+ ශ්‍රව්‍ය සංඥා යොදා ගැනීම.
+ දෘශ්‍ය සංඥා යොදා ගැනීම.
+ තරංග සංඥා යොදා ගැනීම.
+ රසායනික ක්‍රම යොදා ගැනීම.
+ විවිධ අංග චලන යොදා ගැනීම.
යනාදී ක්‍රම යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදෙන ආකාරය හදුනා ගත හැකිය.
සාම්ප්‍රදායික සන්නිවේදනය
ප්‍රාථමික සන්නිවේදන ක්‍රමවලට පසුව ඒ ඒ ජන කණ්ඩායම් නිසි පරිදි සකස් වීමත් සමගම සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම දියුණු විය. ලෙඩ රෝග සදහා කොළ අතු එල්ලීම, විවිධ බලි තොවිල් පුද පුජා විධි, විවිධ තහංචි ක්‍රම, කෙම් ක්‍රම, ජන කතා, ජන කවි, විරිදු, රූකඩ, බුලත මගින් කරන සන්නිවේදනය, මංගල,අවමංගල චාරිත්‍ර විධි ආදිය අදද ක්‍රියාත්මක වන අතර අද වන විට ඇතැම් සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රමවේද බටහිරකරණය වී පවතින අන්දම ද දැකගත හැකිය.
සන්නිවේදන බාධක
සන්නිවේදනය කිරීමේදී සන්නිවේදකයා එක් අන්තයකද, ග්‍රාහකයා හෙවත් පණිවිඩය ලබන්නා තවත් අන්තයකද සිටි. සන්නිවේදන ක්‍රියාවලියේදී මාධ්‍යක් යොදා ගනිමින් ග්‍රාහකයා දක්වා සංදේශය ගමන් කරවයි. සන්නිවේදකයාගේ අරමුණ වන්නේ තමන්ගේ සංදේශය හොදින් ග්‍රහකයාට අවබෝධ කර ගැනීමට සැලැස්වීමයි. එම අරමුණ ඉටු කර ගැනීමට ඇතිවන බාධා " සන්නිවේදක බාධක" ලෙස සරලව හදුනා ගත හැකි වේ.
උදා : +දුර සිට කතා කළ මිතුරෙකුගේ හඩ ඔබට නොඇසි යාම
+ විදුලිය අහිමි වීමෙන් මයික්‍රෆෝනය නොමැතිව කතිකයා කියන දෙය නොඇසි යාම.
+ බස් රියක ශබ්දය නිසා ඔබට දුරකතනයෙන් ලැබූ පණිවිඩය නොඇසි යාම.
+ පාඨමාලාවක් ගැන තොරතුරු පත්‍රිකාවක තිබුනද එහි යොදා ඇති සංකිර්ණ වචන නිසා එය තේරුම් ගැනීමට අපහසු වීම.
# ෂැනොන් වීවර් ආකෘතිය තුළ ද ඝෝෂා (noise) ලෙස සදහන් වන්නේද බාධකයි.
බාධක කොටස් දෙකකි.
1. අර්ථ බාධක
2. මාධ්‍ය බාධක
වශයෙනි.
1. අර්ථ බාධක
අර්ථ බාධක යනු සන්නිවේදකයා විසින් එවන සංදේශය ග්‍රහණය කර ගත හැකි නමුත් එය එලෙසම අර්ථ ගන්වා ගැනීමට (තේරුම් ගැනීමට) ග්‍රාහකයාට නොහැකි වීම නිසා ඇති වන බාධකයි.
ඊට හේතු කිහිපයක් තිබිය හැකිය.
+ සන්නිවේදකයා යොදා ගෙන ඇති භාෂාව හෝ භාෂා රටාව හෝ භාෂා විලාසය ග්‍රාහකයාට නොගැළපීම.
+ ග්‍රාහකයාගේ තේරුම් ගැනීමේ හැකියාව අඩුවීම.
+ යොදාගෙන ඇති යම් යම් සංකේත හෝ වචන විවිධාර්ථ සහිත වීම.
+ ගැඹුරු වචන යොදා ගැනීම.
+ නුහුරු නුපුරුදු යෙදුම්.
+ ඒ ඒ විෂයන්ට අදාළ වන වචන යොදාගෙන තිබීම.
+ ප්‍රාදේශීය ව්‍යවහාර
2. මාධ්‍ය බාධක
මෙයින් අදහස් වන්නේ තාක්ෂණික බාධකයි. යාන්ත්‍රික බාධක ලෙසද මෙය හදුන්වයි. සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයා වෙත යැවීමේදී එම ගමන අඩාල කිරීමට හේතුවන යාන්ත්‍රික හෝ යාන්ත්‍රික නොවන බාධක මාධ්‍ය බාධක නම් වේ.
මාධ්‍ය බාධක සදහා නිදසුන් කිහිපයක් පහත පරිදිය.
+ රූපවාහිනියේ ඇන්ටනාව සෙලවීම නිසා රූපවාහිනියේ රූප සහ හඩ අපැහැදිලි වීම.
+ විදුලි බලය එකවර බිද වැටුණු නිසා එම යන්ත්‍ර ක්‍රියා විරහිත වීම.
+ දුරකථන සංඥා අවුල් වීමෙන් පැහැදිලිව නොඇසීම.
+ ෆැක්ස් පණිවිඩයක නිසි ලෙස අකුරු මුද්‍රණය වී නොතිබීම පණිවිඩය නිසි ලෙස තේරුම් ගැනීමට අපහසු වීම.
+ වර්ෂාව නිසා ගුවන් විදුලි තරංගවලට බාධා පැමිණීම.
මේ නිසා මාධ්‍ය බාධක තුළට තාක්ෂණික බාධා මෙන්ම පාරිසරිකව වන බාධා ද ඇතුළත් වේ.
බාධකවලින් තොර වූ විට සන්නිවේදනය සාර්ථක වන නිසා බාධක හැකි තරම් අවම වන ලෙස පුර්ව අධ්‍යනයකින් යුතුව සන්නිවේදකයා සිය සංදේශය සැලසුම් කිරිම, මාධ්‍ය තෝරා ගැනීම සිදු කළ යුතු වේ.
දොරටුපාල සංකල්පය
අතීතයේදී දොරටුපාලකයන්ගේ කටයුත්ත වුයේ දොරටුවෙන් එහා මෙහා යන අයව පාලනය කිරීමයි. දොරටුපාල සංකල්පය තුළද සිදු වන්නේද කිසියම් පාලනය කිරීමකි. එනම් සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙත යන සංදේශ පාලනය කිරීමයි.
ජන මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙම දොරටුපාල සංකල්පය ඉතාම ගැඹුරින් ක්‍රියාත්මක වන අන්දම හදුනාගත හැකි වේ. මාධ්‍යයකින් සාමාන්‍යයෙන් කිසියම් ප්‍රවෘත්තියක් සමාජගත කිරීමේදී ඒවා බොහෝ විට පාලනය කිරීමට ලක් වේ. ඇතැම් උණුසුම් පුවත් පවා පාලනයකින් යුතුව සමාජගත කරයි. ජන මාධ්‍ය තුළ එම මාධ්‍ය ආයතනයේ අරමුණු හෝ එහි පාලකයාගේ අරමුණු අනුව බොහෝ විට දොරටුපාල ක්‍රියාවලිය සිදු වේ.
එදිනෙදා ජිවිතයේ දී පවා අපටද ඇතැම් විට දොරටුපාලකයන් ලෙස කටයුතු කරන බව පෙනේ. අප අපට ලැබෙන සියලුම තොරතුරු සැමවිටම අනෙකාට ලබා නොදෙන අතර අනෙක් අයද ඔවුනගේ තොරතුරුද සියල අපට ලබා නොදේ. මෙයද සන්නිවේදනයේ එක්තරා අවශ්‍යතාවයකි.
සන්නිවේදනයේදී ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට මෙන්ම සමාන්තරව සිදුවන සන්නිවේදනයේදී තමන්ට ලැබෙන තොරතුරු පාලනය කර අනෙක් පාර්ශවයට ලබා දීම සිදුවේ.
සමස්තයක් ලෙස ගත්විටදී සන්නිවේදන කාර්යයේදී ග්‍රාහකයා වෙත නොපමාව ලැබෙන සංදේශය නිසා ඇති විය හැකි චර්යාව පාලනය කිරීම දොරතුපාලකයාගේ අරමුණ බව පෙනේ.
..................................................................................................................................
මානවයා අදහස් හුවමාරු කර ගැනීමට යොදා ගනු ලබන විවිධ සන්නිවේදන ක්‍රම සන්නිවේදන ස්වරූප වේ. එනම් ග්‍රහකයා විසින් තොරතුරු ලබා ගන්නා ආකාර සන්නිවේදන ස්වරූප නම් වේ. ඒවා වර්ග කිහිපයකි.
+ ලෝකයේ මුලින්ම බිහි වූ සන්නිවේදන ස්වරූපය ලෙස සැලකේ.
+ අප එදිනෙදා බහුලවම භාවිතා කරන සන්නිවේදන ස්වරූපය ලෙසද සලකයි.
+ වචනවලින් තොරව අතපය චලන,මුහුණේ චලන,ඇඟිලි චලන,හිස වැනීම වැනි සන්නිවේදන ක්‍රම අවාචික සන්නිවේදන ක්‍රම ලෙස සැලකේ.
+ අතීත මිනිසුන් තම හැඟිම් වන කුසගින්න,පිපාසය,තරහව,ආදරය ආදිය අංගචලනය කරමින් නිරූපණය කර ඇත.
+ මෙය
කාය භාෂාව ලෙසත් සැලකේ.
+ සාම්ප්‍රදායික සමාජයේ බුලත,ගිනිමැල,පූජා ක්‍රම මෙන්ම වර්තමානයේ ක්‍රීඩා විනිසුරුවන්,පොලිස් නිලධාරීන් මෙම සන්නිවේදනය බහුලවම භාවිතා කරයි.
+ අවාචික සන්නිවේදනය සිදු වන ආකාර කිහිපයකි.
1. සාමාජීය සාධක - පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමග කතාබහ කරන දුර ප්‍රමාණය
2. පාරිසරික සාධක - යම් ස්ථානයක බාහිර වටපිටාව සකස් කර ඇති අන්දම
3. ශාරිරික සාධක - එනම්, ශාරිරික ඉගි,මුහුණේ ඉරියව් ඇස් චලන, ඇදුම් පැළදුම්,ස්පර්ශය,ගන්ධය ආදී සාධක
+ භාෂාව පදනම් කරගෙන සිදු කරන සන්නිවේදනයයි.
+ භාෂාවේ මූලික කාර්යයන් කිහිපයකි.
# සිතීම විධිමත් කිරීම. (නිවැරදිව සිතීම)
# සැබෑව හදුනා ගැනීම. (ඇත්ත හදුනා ගැනීම)
# දැනුම සංරක්ෂණය
# වාචික ප්‍රකාශනය.(වචන ඇසුරින් වදන් කීම)
# පැවැත්ම පිළිබද සාධක ඉදිරියට ගෙන යාම.
# කාලය සන්නිවේදනය.
+ වාචික සන්නිවේදනයේ කාර්යයන් කිහිපයකි.
# අන්තර් සම්බන්ධතා (අන් අය සමග සම්බන්ධතා) පැවැත්වීම
# අදහස්, තොරතුරැ හුවමාරු කර ගැනීම.
# ඉගෙනීම,ඉගැන්වීම හා මග පෙන්වීම.
# පෙළඹවීම.
# ගැටුම් නිරාකරණය.
# සාමය ගොඩ නැංවීම.
# ආවේග පිට කිරීම. (දුක,සතුට,වේදනාව,තරහව)
+ වාචික සන්නිවේදනය දියුණු කර ගැනීමට සංවර්ධනය කරගත යුතු ක්‍රියාමාර්ග කිහිපයකි.
# තමා සතු තොරතුරු,අදහස් ප්‍රමාණය පුඵල් කර ගැනීම.
# කථන රටා පුහුණූ වීම. (කතා කරන ක්‍රම)
# කථනය සදහා පෙර සූදානම
# අන්‍යයන්ගේ කතා හා අංග චලන, ඉරියව් අධ්‍යයනය.
# සවන්දීමට පුරුදු වීම.
# කථනය සමග අංග චලනය හා ඉරියව් භාවිතය පුරුදු වීම.
වාචික සන්නිවේදනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය භාෂා කුසලතා කිහිපයකි.
1. උච්චාණය - නිවැරදි උච්චාරණ විලාස අනුගමනය කිරීම.
2. අර්ථ ගැන්වීම - සෑම කනෙක්ටම ගැළපෙන පරිදි භාෂාව හැසිරවීම.
3. යෝග්‍යතාව - කතාකරන අවස්ථාව,අසන්නන්ට හා කථනයේ අරමුණට යෝග්‍ය වන පරිදි භාෂාව හැසිරවීම.
ඉහත සදහන් වාචික සන්නිවේදන හා අවාචික සන්නිවේදන නිපුණතා සංවර්ධනය කර ගත හැකි ක්‍රම දක්වන්න. (පෙළපොත පිටුව 51)
3. ලිඛිත සන්නිවේදනය
+ ලිඛිත සන්නිවේදනය යනු ලිවීම හෙවත් ලේඛනය මඟින් සන්නිවේදනය කිරීමයි.
+ භාෂාවේ දෘශ්‍ය (පෙනෙන) ස්වරූපයයි.
+ මෙමගින් භාෂාවේ රූපමය ස්වභාවය වන අක්ෂර භාවිතයෙන් සකස්කර ගන්නා ලේඛන ස්ථීරවම රදවා ගනී.
+ ඇතැම් භාෂාවල රූප දෙකක් හෙවත් කතා කරන භාෂාව හා ලිඛිත භාෂාව ලෙස කොටස් දෙකකි. මෙය භාෂා ද්විරූපතාව ලෙස සලකයි.
උදා: මම කෑම කෑවා. - කථනය
මම කෑම කෑවෙමි. - ලිඛිත
+ වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාව විධිමත් වීමට හේතු දක්වන්න.(පෙළපොත පිටුව 52)
ඵලදායී ලේඛනයක් තුළ,
# නිරවුල් බව සහ පැහැදිලි බව.
# ලේඛනයට උචිත ආකෘතිය සහ අවශ්‍ය තැන නිර්මාණශීලීව යොදා ගැනීම.
# සම්මත ව්‍යාකරණ විධි භාවිතය අාදී ලක්ෂණ ඇතුළත්ය.
4. දෘශ්‍ය සන්නිවේදනය
+ මානව සන්නිවේදනයේ මුල්ම අවදියට දිවයන සන්නිවේදන ස්වරූපයක් වේ.
+ අතීතයේ අවාචික සන්නිවේදනයෙන් මිනිස්සු තමන් කළ කී දෑ රූප ලෙස ගල්ගුහාවල මිනිසුන් චිත්‍රණය කළහ.
+ දෘශ්‍ය සන්නිවේදනය මගින් ලබාදෙන තොරතුරු අප විසින් නිවැරදිව වටහා ගත යුතුය.
උදා : කහඉර / මාර්ග සංඥා
+සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 54)
+ නූතන දෘශ්‍ය මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 54)
5. ශ්‍රව්‍ය සන්නිවේදනය
+ හඞ පදනම් කරගෙන සිදුවන සන්නිවේදනය මෙයින් අදහස් වේ.
+ සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 55)
+ නූතන ශබ්ද මාධ්‍ය දක්වන්න.(පෙළපොත පිටුව 55)
6.විධිමත් සන්නිවේදනය
විධිමත් සන්නිවේදනය යනු කිසියම් නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සදහා පුද්ගලයන් රාශියක් එක්ව නිශ්චිත ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීමයි. එවැනි ස්ථාන කිහිපයක් පහත පරිදිය.
උදා - පාසැල, රෝහල , පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
මේවා සංවිධානයක ප්‍රධානියකු යටතේ සැලසුම් සහගතව ක්‍රියාත්මක වේ.
විධිමත් සන්නිවේදනය ආකාර තුනකින් ක්‍රියාත්මක වේ.
1. ඉහළ සිට පහළට සන්නිවේදනය
සංවිධානයක ඉහළ නිලධාරියාගේ සිට පහළ කාර්යය මණ්ඩලය වෙත කෙරෙන සන්නිවේදනය මින් අදහස් වේ. එම කටයුතු සාර්ථක කර ගැනීම සදහා විවිධ සන්නිවේදන මෙවලම් යොදා ගනී.
- ශබ්ද විකාශන පද්ධති
- දැන්වීම්
- ලිපි
- චක්‍ර ලේඛ
2. පහළ සිට ඉහළට සන්නිවේදනය
පහළ කාර්යය මණ්ඩලවල අදහස් ඉහළ තනතුරු දරන්නන් වෙත ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. මේ සදහා පහත මෙවලම් යොදා ගනී.
- සේවක කම්ටු
- රැස්වීම්
- යෝජනා පෙට්ටි
- සාකච්ඡා
- අංශ රැස්වීම්
3. හරස් සන්නිවේදනය
තමන්ට සමාන්තර කාර්යය මණ්ඩල අතර සිදුවන සන්නිවේදනය මින් අදහස් වේ. නිදසුන් ලෙස ලිපිකරුවන් ඔවුනොවුන් අතර සිදුවන සන්නිවේදනය දැක්විය හැකිය. මේ සදහා පහත මෙවලම් යොදා ගනී.
- ලිපි
- අභ්‍යන්තර දුරකථන පද්ධති
- මුහුණට මුහුණලා කතා බහ
විධිමත් සන්නිවේදන ආකෘති
විධිමත් සන්නිවේදනය සිදු වන ආකාරය අනුව ආකෘති 4ක් හදුනා ගත හැකිය.
1 චක්‍රීය ආකෘතිය
මෙහිදී සිදු වන්නේ සන්නිවේදකයගෙන් එක් අයෙකුටද, එයින් තවත් අයෙකුටද ආදී වශයෙන් පණිවිඩය ගොස් නැවතත් සන්නිවේදකයා වෙතම පැමිණීමයි. මෙහි චක්‍රීය ස්වරූපයක් ගන්නා නිසා චක්‍රීය ආකෘතිය නමින් හදුන්වයි.
2. දාම ආකෘතිය
මෙය එක් අයෙකුගෙන් තවත් අයෙකුට ඉන් පසු තවත් අයෙකුට ආදී වශයෙන් පැතිරී යන නමුත් අවසානයේ නැවතත් සන්නිවේදකයා වෙත පණිවිඩය නොපැමිණේ. මෙහි ඇත්තේ දම්වැලක ස්වරුපයක් නිසා දාම ආකෘතිය ලෙස හදුන්වයි.
3. වයි ආකෘතිය
එක් අයෙකුගෙන් තවත් අයෙකුට වශයෙන් දෙතුන් දෙන්නෙකුගෙන් පසු එම සංදේශය වැඩි දෙනෙකු අතර පැතිරී යයි. මෙය ඉංග්‍රීසි Y අකුරේ හැඩය ගන්නා නිසා මෙය වයි ආකෘතිය නමින් හදුන්වයි.
4. රෝද ආකෘතිය
මෙහිදී සිදු වන්නේ අදාල සංදේශය එක් අයෙකු කේන්ද්‍ර කර ගෙන බොහෝ දෙන අතර පැතිරී යාමකි. මෙහි ඇත්තේ රෝදයක ස්වරුපයක් නිසා මෙය රෝද ආකෘතිය නමින් හදුන්වයි.
පෙළ පොතේ 57 පිටුවේ එන 2.14 රූපය අදින්න.
7. අවිධිමත් සන්නිවේදනය
යම් ආයතනයක් තුළ විධිමත් සන්නිවේදනයෙන් බැහැරව සිදුවන සියලු තොරතුරු හුවමාරුව අවිධිමත් සන්නිවේදනය යටතට ගත හැකිය. අවිධිමත් සන්නිවේදනයයටතට ගැනෙන්නේ කට කතා, කේලම්, ඕපාදුප ආදියයි. විධිමත් සන්නිවේදනය කෙතරම් ප්‍රබල තැනක වුවද අවිධිමත් සන්නිවේදනය සිදුවනු පෙනේ. අවිධිමත් සන්නිවේදනය ඉක්මනින් පැතිරී යන අතර ඊට බලධාරියෙකු නැත. එසේම අවිධිමත් සන්නිවේදනය කොතනකින් ආරම්භ වේද යන්නද සොයා ගැනීමත අපහසුය. මෙම අවිධිමත් ආරංචිය පැතිරී යන විට වෙනස් වීමට සහ විකෘති වීමද සිදු විය හැක. උදාහරණයක් ලෙස ජන කතාවක් එන කපුටු පිහාටුවක් මත වමනය වැටීම අවසානයේ කපුටන් හත් දෙනෙකු වැමෑරීම දක්වා විකෘති වු ආකාරය දැක්විය හැකිය.
අවිධිමත් සන්නිවේදන ආකෘති
අවිධිමත් සන්නිවේදන ආකෘති 4ක් හදුනා ගත හැකිය.
1. තනි දාමය
මෙහිදී එක් අයෙකුට ලැබෙන තොරතුරු තවත් අයෙකුට ලැබේ. එතනින් එම තොරතුරු තවත් කෙනෙකුට ලැබේ. මෙසේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට තොරතුරු පිළිවෙලින් ආරංචිය පැතිරී යාම සිදු වේ. මෙහිදී අදාල තොරතුරු විකෘති වීම සිදුවේ. අප කුඩා කල සිදු කළ රහස් කෝච්චිය නිදසුනක් ලෙස දැක්විය හැකිය.
2. ඕපාදුප දාමය
එක් අයෙකුගෙන් බොහෝ දෙනාට ආදී වශයෙන් තොරතුරු පැතිරීම මින් අදහස් වේ. එහිදී අසන්නන් තෝරා ගන්නේ පිළිවෙලකටය.
3. සම්භාවිතා දාමය
මෙහිදී සියලුදෙනාට සංදේශය නොලැබෙන අතර සංදේශය නිදහසේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ගලා නොයයි. සංදේශය ආරම්භ වන ස්ථානයෙන් එය ලබා දෙන්නේ කටදි කිව නොහැකිය. එහෙත් එය ලබා දෙන්නේ එක් අයෙකු විසිනි. ජන කතාවකෙන හාවා තල් කොළයකට වැටුන අවස්ථාවේ අහස කඩා වැටෙනවා යැයි කියමින් දිවූ ආකාරය මෙම දාමය සිහි ගන්වයි.
4. පර්ෂද දාමය
ආරම්භකයා විසින් තමා තෝරාගත් කිහිප දෙනෙකුට සංදේශය ලබා දෙයි.ඔවුන්ද (සංදේශය ලැබූ ග්‍රහකයන්ද) එම සංදේශය ලබා දෙන්නේ තෝරා ගත් කිහිප දෙනෙකුටය.
පෙළ පොතේ 58 පිටුවේ එන 2.15 රූපය අදින්න.
+ ඔබ විධිමත් සහ අවිධිමත් සන්නිවේදනය ගැන අවබෝධයෙන් සමාජය තුළ ක්‍රියා කිරීමට විධිමත් සහ අවිධිමත් සන්නිවේදන නිපුණතා වර්ධනය කර ගත යුතුය.
1.
1. විධිමත් සන්නිවේදනය සමාජ අවශ්‍යතාවක් වන අතර ඔබ එය සන්නිවේදකයා ලෙස එනම් සංදේශය සැලසුම් කරන්නා ලෙස කල්පනා කල යුතුය.
2.අවිධිමත් සන්නිවේදනයද සමාජ අවශ්‍යතාවක් නමුත් ඊට අදාළ වන කටකතා,කේලම්,ඕපාදුප සමාජයට අහිතකර ලෙස බලපාන නිසා ඔබ සිතා බැලිය යුත්තේ අවිධිමත් සන්නිවේදනය සැලසුම්කර ක්‍රියාත්මක කරන සන්නිවේදකයා වශයෙන් නොව එයින් ලැබෙන සංදේශය සිහි බුද්ධියෙන් ග්‍රහණය කර ගන්නා ග්‍රාහකයා ලෙසය.
3. මේ අනුව විධිමත් සන්නිවේදනයේදී ඔබ දක්ෂ සන්නිවේදකයකු විය යුතු අතර අවිධිමත් සන්නිවේදනයේදී ඔබ බුද්ධිමත් ග්‍රාහකයෙකු ලෙස ක්‍රියා කළ යුතුය.
ප්‍රක්ෂේපණය වන පන්තිකාමර උපකරණ
1. ප්‍රතිශිර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රය හදුන්වන වෙනත් නම් ලියන්න.
2. ප්‍රතිශිර්ෂ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය කෙටියෙන් හදුන්වන්න.
3. ඒ සදහා භාවිතා කරන පත්‍ර වර්ගය සහ ඉන් ඉදිරිපත් කළ හැකි දේවල් මොනවාද?
4. එහි විදුලි බල්බය ආරක්ෂා කර ගත හැකි අන්දම දක්වන්න.
5. කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රය හදුන්වන වෙනත් නමක් ලියන්න.
ජන මාධ්‍ය ආයතනික අධ්‍යයනය
මෙම පාඩමෙන් ඔබට ජන මාධ්‍ය ආයතනවල අන්තර්ගතය, ඒවායේ ස්වභාවය සහ හිමිකාරිත්වය පිළිබදව මන අවබෝධයක් ලබා ගත හැකිය.
ජන මාධ්‍ය ආයතන හිමිකාරිත්වය මුලික කොටස් දෙකක් යටතේ හදුනා ගත හැකිය.
1. රාජ්‍ය මාධ්‍ය හිමිකාරිත්වය
2. පෞද්ගලික මාධ්‍ය හිමිකාරිත්වය
වශයෙනි.
# ශ්‍රී ලංකාවේ ප්‍රථම පුවත්පත වන්නේ 1832 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද ' කලම්බු ජර්නල් ' නම් වූ ඉංග්‍රීසි පුවත්පතයි.
# ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වන්නේ බුලත්ගම ධම්මාලංකාර හිමි විසින් ආරම්භ කරන ලද 1860 වසරේ ප්‍රකාශයට පත් කරන ලද 'ලංකාලෝකය' පුවත්පතයි.
# ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරනලද ප්‍රථම සිංහල පුවත්පත වන්නේ කොග්ගල පඬිතුමා විසින් ආරම්භ කරන ලද 1862 වසරේ ප්‍රකාශයට පත් කරන ලද ' ලක්මිණි පහන ' පුවත්පතයි.
කෙසේ නමුත් මේවායේ වර්ගීකරණය තවත් කොටස් කීපයක් යටතේ හදුනා ගත හැකිය.
පළමුව එය අප පුවත්පත් ඇසුරින් සොයා බලමු.
පුවත්පත්
1. කර්තෘ හිමි පුවත්පත් -
මෙම පුවත්පත් එම කර්තෘ විසින්ම සකස් කර (සංස්කරණය කර) තමන්ගේ අයිතිය යටතේම ප්‍රකාශයට පත් කරනු ලබයි.
පාඩම සමඟ අසන ප්‍රශ්නවලට සටහන ලියමින්ම පෙළ පොත බලමින් පිළිතුරු ලියන්න. (ඒවායේ හරි වැරදි පාසැල ආරම්භ වූ පසු බලන්නම්.)
අභ්‍යාස :
1. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.
2. මහජන සංවිධාන හිමි පුවත්පත් -
එවකට පැවති බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සාමාජීය ප්‍රතිඵලයක් ලෙස මෙම පුවත්පත් ආරම්භ විය.
අභ්‍යාස :
1. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.
2. කතෝලික ධර්මය ප්‍රචාරයට ආරම්භ කළ පුවත්පත හා ඊට ප්‍රතිපක්ෂව බෞද්ධ සංවිධාන ආරම්භ කළ පුවත්පත නම් කරන්න.
3. සිංහල මහා සභාව ආරම්භ කළ පුවත්පත කුමක්ද?
3. පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත් -
මේවා ආරම්භ කිරීමට හේතු වුයේ ඉහත සදහන් කල කර්තෘ හිමි පුවත්පත් එම තැනැත්තාට සිදු කරගෙන යාමට නොහැකි වූ විට ඒවා විකුණන ලද අවස්ථා වලදී මිලදී ගැනීමෙන් හෝ අලුතින්ම පුවත්පත් පෞද්ගලික ව්‍යාපාරහිමියන් ආරම්භ කිරීමෙනි.
අභ්‍යාස :
1. එසේ ආරම්භ කරන ලද ප්‍රථම පෞද්ගලික ව්‍යාපාර හිමි පුවත්පත, එහි අයිතිකරු සහ එම ආයතනයේ නම , ආරම්භ කළ වර්ෂය දක්වන්න.
2. එසේ ආරම්භ කළ පුවත්පත්වල නම්,ආරම්භ කර ඇති වර්ෂයන් සහ සංස්කරණය කර ඇති කතුවරු වගු ගත කර දක්වන්න.
4. දේශපාලන පක්ෂ හිමි පුවත්පත්-
අතීතයේ මෙන්ම අදද විවිධ දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන දැක්ම සහ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අරමුණින් පුවත්පත් නිර්මාණය කරනු ලබයි.
5. රජයට හිමි පුවත්පත් -
කිසියම් රජයක් තම අරමුණු හා අදහස් ප්‍රකාශ කරමින් පුවත්පත් පල කරනු ලබයි. වර්තමානය වන විට ලේක් හවුස් හෙවත් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම් රජය යටතේ පාලනය වේ. සිළුමිණ , දිනමිණ ආදී පුවත්පත් නිදසුන් ලෙස දැක්විය හැක.
අභ්‍යාස :
1. එසේ ආරම්භ කළ පුවත්පතේ නම,ආරම්භ කර ඇති වර්ෂය සහ සංස්කරණය කර ඇති කතුවරයා නම් කරන්න.
ගුවන්විදුලිය
ශ්‍රී ලංකාවට ගුවන්විදුලිය බ්‍රිතාන්‍යයේ ආරම්භ කර ටික කලකින් හිමි විය. ඊට හේතු වූ මුලිකම සාධකය වුයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වීමය. විශේෂයෙන්ම ඉංග්‍රීසි ජාතිකයන් හට රට අභ්‍යන්තරය තුළ ගුවන්විදුලිය මගින් සන්නිවේදනයේ යෙදීමේ අරමුණින් මෙය ආරම්භ විය. මෙරට ආරම්භ කල ගුවන්විදුලිය ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය ලෙසද සලකයි.
අභ්‍යාස :
1. ගුවන්විදුලියේ නිර්මාතෘ නම් කරන්න.
2. ප්‍රථම වරට විධිමත් ගුවන්විදුලි වැඩසටහනක් විකාශය කළේ කුමන රටක, කුමන ස්ථානයකද?
3. මෙරට ගුවන්විදුලිය පිළිබද අත්හදා බැලීම් කළ මහජන සංවිධානය කුමක්ද?
4. මෙරට ගුවන්විදුලිය ආරම්භ කිරීමේ පුරෝගාමියා නම් කරන්න.
5. මෙරට ප්‍රථම ගුවන්විදුලි නිල ප්‍රචාරය වුයේ කවදාද?
6. 1967 ජනවාරි 5 වන දින සිදු වූ වැදගත් සිදුවීම කුමක්ද?
7. 1991 පසු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය සම්බන්ධව සිදු වූ වෙනස කුමක්ද?
8. මෙරට ගුවන්විදුලි සේවා හිමිකම වර්ග කළ හැක්කේ කෙසේද?
රුපවාහිනිය
# ශ්‍රී ලංකාව තුළ පළමු රුපවාහිනි විකාශය ආරම්භ වන්නේ පුද්ගලික හිමිකම යටතේය. ඒ සදහා තිදෙනෙකු මුල් විය. ඔවුන් නම්,
1.ශාන් වික්‍රමසිංහ මහතා
|
ශාන් වික්‍රමසිංහ මහතා
|
2. බොබ් ක්‍රිස්ට් මහතා
3. අනිල් විජේවර්ධන මහතා
යන තිදෙනාය
# 1979 අප්‍රේල් 13 වන දින මෙරට අරඹන ලද මෙම සේවය ස්වාධින රුපවාහිනි සේවය නම් විය.
# 1979 ජුනි 5 වන දින ස්වාධින රුපවාහිනි සේවය රජයට පවරා ගනු ලැබිණි.
# ජපන් රජයේ අනුග්‍රහය යටතේ 1982 පෙබරවාරි 15 වන දින ජාතික රුපවාහිනිය ආරම්භ වුයේ රාජ්‍ය හිමිකම යටතේය.
අභ්‍යාස :
1. ශ්‍රී ලංකාවේ රජයට හිමි මාධ්‍ය ආයතන නම් කරන්න.
Thank you for supporting our education from this time
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete